මේ රටේ අනාගත නායකත්වය දරුවන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා පවසනවා.රටේ අනාගතය භාර ගන්නේ දරුවන් සහ තරුණ පිරිස බව ඇතැම් දේශපලකයින් සඳහන් කලද, එම දේශපාලකයින් කිසිම දිනෙක අසුන හැර නොයන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.ඒ නිසා ඔවුන් අසුන හැර නොගියොත් දරුවන් කෙසේද? රට භාර ගන්නේ? ඒ නිසා රට භාර ගන්න බැරි නිසා තරුණ පරපුර දේශපාලන ක්ෂේත්‍රය තුල ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයෙන් බලය ලබා ගැනීමට මේ රට තුල උත්සාහ කරන බවද අමාත්‍යවරයා පැවසුවා.එය දකුණේ මෙන්ම උතුරේද සිදු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.අමාත්‍ය මනෝ ගනේසන් මහතා මේ බව කියා සිටියේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් සංවිධාන කල ජනාධිපති දෙවර්ෂ පුර්ණ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති 1/2015 චක්‍රලේඛය ප්‍රකාරව පාසල් තුළ භාෂා ප්‍රවර්ධන කව පිහිටුවීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට පසුගියදා කොළඹදී එක් වෙමින්.

 මේ තවදුරටත් අදහස් පල කල අමාත්‍ය මනෝ ගනේසන් මහතා..........

කෙසේ වෙතත් මට, වැඩිය වයස නැති වුණත් වැඩි කාලයක් මම මේ දේශපාලනයේ සිටින්න කැමැත්තක් නැහැ.රැදී සිටින්නේත් නැහැ. ඒ නිසා, තවත් පොඩ්ඩක් ඉන්න,ඇමතිකමේ ටිකක් ඉන්න කියලා මහජනයා කියද්දීම මම දේශපාලනයෙන් සමුගෙන යනවා.මොකද? මේ දරුවන්ට ඒ අනාගතය භාර දෙන්න ඕනි නිසා.තරුණ පරපුරට ඉඩ දීලා  යා යුතුයි.එවිට තමයි රට හදන්න පුළුවන් වෙන්නේ.නව පරපුර බලයට එද්දී, පාලනයට එද්දී,අලුත් පරපුර රට භාර ගනිද්දී තමයි අලුත් චින්තනයක් රටේ පාලන තන්ත්‍රයට ඇතුළු වන්නේ.මට ඡන්දය දුන්නාද?නැද්ද? කියලා මට වැඩක්  නැහැ.මොකද? මම වැඩ කරන ඇමතිවරයෙක්.මොකද? මේ රට අපි දැන් එක්සත්,නොබෙදුණු, ශ්‍රී ලංකාවක් ලෙස රට  හදන්නට තීරණය කරලා තිබෙනවා.එයයි අපේ ගමන.මොකද? මීට පෙර අපි දන්නවා, ඉතිහාසයම අපි වරද්දවා ගත්තා කියලා.සිංහල,දෙමල,මුස්ලිම් නායකයින් වරද ගත්තා.සිංහල භාෂාව,දෙමල භාෂාව කතා කරන නායකයින් වරද්ද ගත්තා.සිංහල ජාතියට,දෙමල ජාතියට,මුස්ලිම් ජාතියට අයිතිවාසිකම් කියන නායකයින් ඔක්කොම වරද්ද ගත්තා.ඒ නිසා දැන් අපි නැවත හැරිලා බලලා වැරැද්ද සොයා ගෙන ඒවා නිවැරදි  කරගෙන ඉදිරියටම යනවා.මේ අනුව අපි ආ පස්සට රට හරවලා අරගෙන යාමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ, ඉඩ දෙන්නත් බැහැ.

මේ රටේ අපි සිංහල වේවා, දෙමල වේවා,මුස්ලිම් වේවා,බෞද්ධ වේවා,හින්දු වේවා,කතෝලික වේවා,ක්‍රිස්තියානි වේවා,ප්‍රශ්නයක් නැහැ.මවු භාෂාව දෙමළ වේවා,සිංහල වේවා,එසේත් නැත්නම් ඉංග්‍රීසි භාෂාව වේවා,ජාතිය සිංහල,දෙමළ, මුස්ලිම් වේවා නමුත් පළමු තැන දිය යුත්තේ අපේ රටටයි.ඒ ශ්‍රී ලාංකිකයින් හැටියට.ඒ නිසා ශ්‍රී ලංකා කියන අපේ අනන්‍යතාවය මත තමයි අපේ ජාතිය තියෙන්නේ,අපේ ආගම තියෙන්නේ,අපේ භාෂාව තියෙන්නේ.ඒ නිසා පසුගිය කාලයේදී අපි මොකද? කලේ,ශ්‍රී ලංකික කම දෙවනියට, තුන වෙනියට දාලා පළමු තැන දෙන්න හැදුවා අපේ භාෂාවට,ජාතියට හා ආගමට.එතනයි අපි වරද්ද ගත්තේ.ඇතැම් පිරිස් දේශයට, රටට තැන දුන්නේ නැහැ.කෙසේ වෙතත් දැන් මේ රටේ භාෂා තුනක් තියෙනවා.එය ව්‍යවස්ථාවෙත් තියෙනවා.සිංහල සහ දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා.ඒ වගේම ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව.එමෙන්ම බෞද්ධ,හින්දු,ඉස්ලාම් සහ කතෝලික කියලා ආගම් හතරක් තියෙනවා.ජාතීන් ගැන කතා කළොත් සාමාන්‍යයෙන් අපි කියන්නේ සිංහල,දෙමළ,මුස්ලිම් මෙන්ම  සමහරක් විටකදී මැලේ කියලත් කියනවා.නමුත් මගේ අමාත්‍යංශයේ ලියාපදිංචි වෙලා තියෙන විදියට අපේ රටේ ජාතීන් සහ ජන වර්ග දහ නවයක් සිටිනවා.පුත්තලම පැත්තේ අප්‍රීකානු සම්භවයක් තියෙන උදවියත් ජීවත් වෙනවා.වැද්දන් සිටිනවා.එය වර්ග දෙකක්.කැලෑ වැද්දෝ සහ මුහුදු වැද්දෝ.මලයාලම් සහ තෙලිඟු ජනතාවද  සිටිනවා.ලන්දේසීන් වර්ග තුනක් සිටිනවා.ඒ වගේ මේ රටේ විවිධ භාෂා කතා කරන ජන වර්ග දහ නවයක් ඉන්නවා.මේ විදියට විවිධ භාෂා කතා කිරීම ලස්සනයි,වර්ණවත්.ඒ විවිධත්වය තමයි අපේ ශක්තිය වන්නේ.

සිංහල භාෂාව මවු භාෂාව විදියට කතා කරන සියයට හැත්තෑ පහක පමණ ජනතාවක් මේ රටේ ඉන්නවා.ඒක වෙනස් වෙන්නේ නැහැ.බෞද්ධ ආගම වැළඳ ගත් පිරිස සියයට හැත්තෑවක් පමණ සිටිනවා.ඒකත් වෙනස් වෙන්නේ නැහැ.වෙනස් කරන්න කාටවත් උවමනාවක් නැහැ.නමුත් ඒ සමගම අනෙකුත් ආගම් , ජාතීන් මෙන්ම අනෙකුත් භාෂා කතා කරන,ජනයාත් සිටිනවා.ඉතින් මේ ඔක්කොම එකතු වන විට තමයි ශ්‍රී ලංකාව ඇති වෙන්නේ.මේ නිසා ළමුන් එය තේරුම් ගත යුතුයි.වැඩිහිටියෝ හදන්න අමාරුයි. ඒ නිසා දරුවන්වයි අපිට වටින්නේ.මගේ ජාතියට,මගේ භාෂාවට,මගේ ආගමට මම  දෙවන,තුන්වන සහ හතරවන ස්ථාන තමයි දීලා තියන්නේ.පළමු තැන දෙන්නේ නැහැ ඒවට මම.ඒ නිසා මගේ ජාතියට,ආගමට සහ භාෂාවට අයිතිවාසිකම් කියන අය දොස් කියුවත් මම ඒවා ගනම්ගන්නේ නැහැ.මේ අනුව මම පළමු තැන ලබා දෙන්නේ ශ්‍රී ලාංකිකකමටයි.එහෙම හිතුවොත් තමයි මේ රට හදන්න පුළුවන් වන්නේ.එය අප තේරුම ගත යුතුයි. ඒ නිසා කැඩී බිදී ගිය රටක්,අන්තවාදය හෝ ත්‍රස්තවාදය හෝ බෙදුම්වාදය පැතිරී ගිය රටක් අපි නැවත මේ රටේ දරුවන්ට උදා කරන්නේ නැහැ. මේ අවස්ථාවේදී අපේ ජනාධිපතිතුමා,අගමැතිතුමා,අපේ ඇමති මණ්ඩලය හෝ ආණ්ඩුව ඒකට සුදානම් නැහැ. සමහරු දැනුත් අන්තවාදය අවුස්සනවා.එවැනි පිරිස් දකුණෙත් ඉන්නවා, උතුරේත් ඉන්නවා.දෙමළ  අන්තවාදීන් ඉන්නවා,සිංහල අන්තවාදීන් ඉන්නවා, මුස්ලිම් අන්තවාදීන් ඉන්නවා.ඒ නිසා එවැනි අන්තවාදීන් සත පහකටවත් ගනම් ගන්නේ නැහැ.උතුරේ සහ දකුණේ අන්තවාදය ගැන කතා කරන අයගෙන් අපි ඉල්ලීමක් කරනවා.මොකක්ද දන්නවාද? රට විනාශ නොකර මුහුදේ හෝ ගඟේ ගිහින් පනින්න කියන ඉල්ලීම.මොකද? රට අපිට අවශ්‍යයි.මේ දරුවන්ට රටක් ඉතිරි කරන්න ඕනි.මෑතක හම්බන්තොටේ විශාල කෝලාහලයක් ඇති වී තිබෙනවා.නමුත් ලොකු ප්‍රශ්නයක් එතන නැහැ.සමහරු නැති  ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරනවා.හැබැයි,අපේ ජනාධිපතිතුමා,අගමැතිතුමා,අපේ ආණ්ඩුව මොකද? එතන කරන්නේ,කර්මාන්තකරණය කරනවා.ඒ  කර්මාන්තකරණය රටට අවශ්‍යයි.මොකද? ඉගෙන ගන්නා ළමුන්ට රැකී රක්ෂා ලබා දිය යුතුයි. පාසල් අධ්‍යාපනය නිම කර ඉවත්ව යනවිට ඔවුන්ට  රක්ෂා ලබා දිය යුතුයි.ඒකයි කර්මාන්තකරණය කියන්නේ.ලක්ෂ ගණනින් රක්ෂා ඕනි අපට.නැත්නම් කොහොමද? අපි රට හදන්නේ.රක්ෂා තියෙනවා නම් ආදායම වැඩි වෙයි.එහෙම ආදායම වැඩි වන්නේ නම් රට හැදෙයි.මම මීට පෙර සඳහාන් කළා හම්බන්තොටට එම කර්මාන්තකරණය එපා නම්  කොළඹට දෙන්න කියලා.

කොළඹ,කොලොන්නාව,මහරගම,හෝමාගම,අවිස්සාවේල්ල යන පළාත්වල ඒ සඳහා ඕනෑ‍ තරම් ඉඩ තියෙනවා.කර්මාන්තපුර හදන්න පුළුවන් එතකොට.එහෙම කර්මාන්තපුර හදලා, අපේ ළමුන්ට ඒ හරහා රැකියා ලබා දෙන්න පුළුවන්.ඒ නිසා බය වෙන්න එපා.රට විකුණන්නේ නැහැ අපි.රට බෙදන්නේ නැහැ අපි.රට විකුණන්න ඉඩ දෙන්නෙත් නැහැ අපි.ඒ නිසා මේ තර්ජනවලට,ගර්ජනවලට, බය වෙන ආණ්ඩුවක් නොවෙයි මේ ආණ්ඩුව.මම නම් තර්ජන ගර්ජනවලට බය වෙන්නේ නැහැ.කාටවත්ම ඔලුව නමන්නේ නැහැ.ස්වාමීන්වහන්සේලා ඇතුළු නායකයින්ට පමණයි මම හිස නමන්නේ.ඒ නිසා මේ රටේ අලුත් පරපුර, තරුණ පරපුර රට ගැන හැගීමක්‌ ඇති කර ගත යුතුයි.මම එතනයි සිටින්නේ.ඒ නිසා මට බැරි දේ මම කාටවත් කියන්නේ නැහැ.

එමෙන්ම මම කියන්න කැමතයි,සිංහල පුද්ගලයින් දෙමළ භාෂාව ඉගෙන ගත යුතුයි.දෙමළ පුද්ගලයින් සිංහල භාෂාව ඉගෙන ගත යුතුයි.ඒ වගේම අපි කවුරුත් එකතු වෙලා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නත් ඕනි.ලෝකෙම දොරටුව ඉංග්‍රීසි භාෂාවයි.අපේ රටේ සමහර නායකයින් සිටියා තමයි. ඒ අතර සිංහල නායකයින් මෙරට අහිංසක ළමුන්ට, සිංහල ජනතාවට  කියුවා සිංහල විතරක් ඉගෙන ගන්න කියලා.සිංහල පමණයි කියල කියුවා.ඒ වගේ උතුරේ දෙමළ නායකයිනුත් දෙමළ ළමුන්ට, දෙමළ ජනයාට කියුවා දෙමළ පමණයි කියලා.ඒ නායකයින් එහෙම කියලා තමුන්ගේ දු දරුවන් යැවුවා පිටරටවලට.ඇමරිකාවට,එංගලන්තයට යැවුවා.යවලා ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ලොකු අවස්ථාවක් සලසා දුන්නා.ඒ නිසා තමයි මේ රටේ මැද පෙලේ පිරිසට ඉංග්‍රීසි භාෂා හැකියාව නොමැති වුණේ.ඒ නිසා ඒ වැරැද්ද නැවත කරන්න බැහැ.හැම කෙනෙකුම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත යුතුයි.ලෝකේ දොරටුව ඒක තමයි. මම ජාතික සහජීවනය,සංවාද හා රාජ්‍ය භාෂා ඇමති විදියට මෙරටේ භාෂා අධ්‍යාපනය ඉහළ  නංවාලීම මගේ වගකීමක්.අධ්‍යාපන අමාත්‍යතුමාගේ වගකීමක්ම පමණක් නොවෙයි එය, මගෙත් වගකීම.සිංහල භාෂාව,දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව පමණක් නොවෙයි,ජපන්,කොරියන්,ප්‍රංශ,චීන වැනි ජාත්‍යන්තර භාෂාද වැඩි දියුණු කරළා නව වැඩපිළිවෙලක් ඉදිරියේදී ගෙන එන්නේ අපේ අමාත්‍යාංශය මගින්.මේ අනුව ඕනෑම භාෂාවක් ඉගෙන ගැනීමේ අවස්ථාව අපි ජනතාවට ලබා දෙනවා.මගේ ඉලක්කය එයයි.ඒ නිසා භාෂා අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සමහර ප්‍රභූ පන්තියට පමණක් සීමා වෙලා තිබුණ අවස්ථාව මේ වන විට මම අවසන් කරලා තිබෙනවා.

නවතම පුවත්

මේ රටේ විවිධ භාෂා කතා කරන ජන වර්ග දහ නවයක් ඉන්නවා. මේ විදියට විවිධ භාෂා කතා කිරීම ලස්සනයි,වර්ණවත්.ඒ විවිධත්වය තමයි අපේ ශක්තිය. - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා

අප්‍රේල් 08 2017

මේ රටේ අනාගත නායකත්වය දරුවන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා පවසනවා.රටේ අනාගතය භාර...

ගරු මනෝ ගනේසන් අමාත්‍යතුමා කොළඹදී සිදු කළ කතාව

අප්‍රේල් 08 2017

මෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීම සියලු මහජන  නියෝජිතයින්ගේ වගකීමයි. - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු...

ශ්‍රී ලාංකික අනන්‍යතාවය යටතේ ජීවත් වන හැමෝම එක්සත් කිරීම තමයි මගේ වගකීම - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා

අප්‍රේල් 09 2017

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා වශයෙන් මෙම රාජ්‍ය භාෂා විෂය පථය මෙන්ම සහජීවනය හා සංවාද යන විෂය පථයන්...