mano-newsජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා වශයෙන් මෙම රාජ්‍ය භාෂා විෂය පථය මෙන්ම සහජීවනය හා සංවාද යන විෂය පථයන් පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගැනීමට, අධ්‍යනයක් ලබා ගැනීමට පසුගිය වසර තුලදී අවකාශය ලැබුණු බව මා මුලින්ම සඳහන් කල යුතුයි. රටේ ජීවත් වන විවිධ ජාතීන්, විවිධ භාෂා කතා කරන කණ්ඩායම්, විවිධ ආගම් නියෝජනය කරන කණ්ඩායම්, කියන මේ හැමෝම, ශ්‍රී ලාංකික අනන්‍යතාවය යටතේ ජීවත් වන හැමෝම එක්සත් කිරීම තමයි මගේ වගකීම. ඒක තමයි ජාතික සහජීවනය කියන්නේ. ඇත්තටම මේ රටේ භාෂා තුනක් තිබෙනවා. ආගම් හතරක් තිබෙනවා. ජන වර්ග විස්සක් විතර  ජීවත් වෙනවා. ඒක තමයි විවිධත්වය. ඒ නිසා විවිධත්වය කියන්නේ අපේ දුර්වලකම නොවෙයි. විවිධත්වය කියන්නේ අපේ ශක්තිය තිබෙන දැක්මක් ලෙසයි අප හදාගෙන තිබෙන්නේ. මේ අතරේ සංවාදයද ඉතාම වැදගත්. පසුගිය කාලයේ  අපි සම්බන්ධ වුණේ තුවක්කුව, පිස්තොලේ එහෙමත් නැත්නම් ප්‍රචණ්ඩත්වය හරහායි. ඒ නිසා මේ යුගයේදී සම්පූර්ණයෙන්ම ඒවාට ඉඩ නොදී අපි අතුගාලා දාලා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා සහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ මග පෙන්වීම යටතේ ඒ අතු ගා දැමීම අපි කරලා තිබෙනවා. ඒ නිසා දැන් ඉර සහ හඳ යටතේ පවතින ඕනෑම ප්‍රශ්නයක් අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම තමයි සංවාදය කියලා කියන්නේ.

එමෙන්ම තුන්වන කරුණ ලෙස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියද ඉතා වැදගත්. මේ අනුව දැනට තිබෙන ව්‍යවස්ථාවට අනුකූලව සිංහල සහ දෙමළ භාෂා දෙකම මෙරට රාජ්‍ය භාෂා ලෙසත්, ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව ලෙසත් පවතිනවා. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව අන්‍ය භාෂාවක් නොවන බව පැහැදිලිව කිව යුතුය. එයත් මේ රටේ භාෂාවක් වෙලා තියෙනවා. මේ නිසා මේ රටේ තරුණ පරපුරට, විශේෂයෙන්ම දෙමළ අයට සිංහල භාෂාවත්, සිංහල අයට දෙමළ භාෂාවත් වගේම, මෙරට සෑම පුරවැසියෙකුටම මෙන්ම තරුණ අයට ඉංග්‍රීසි භාෂාවත් ඉගැන්වීම මගේ වගකීමක් වෙලා තියෙනවා. ඒ වගේම පාසල තුල ඉංග්‍රීසි  ඉගෙන ගන්නවාට වඩා වැඩි අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ ඇතිව වෘත්තීයමය වශයෙන් ඉංග්‍රීසි භාෂාව පිලිබඳ අධ්‍යාපනයක් ලබාදීමද මගේ වගකීමක් වනවා. මොකද? ඉංග්‍රීසි භාෂාව තමයි රටේ විවිධ ජාතීන් අතර සන්ධාන භාෂාවක් ලෙස ව්‍යවස්ථානුකූලව පිළි අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ හරහා ලොවට දොර ඇරෙනවා. ඉංග්‍රීසි භාෂාව අමතක කරලා දාලා, තමන්ගේ මවු භාෂාව පමණක් ඉගෙන ගන්න කියලා තමුන්ගේ දූ දරුවන් පමණක් පිට රට යවා ඉංග්‍රීසි භාෂාව උගන්වපු දේශපාලකයින් මේ රටේ සිටියා. නමුත් ඒ යුගය දැන් අවසානයි. මේ නිසා දැන් ඉන්න අපේ නායකයින්, ජනාධිපතිතුමා, අගමැතිතුමා එහෙම හිතන්නේ නැහැ. එයාලා හිතන්නේ අනාගතය ගැනයි.

මේ නිසා ඒ අය, අනාගතයේ පැමිණීමට නියමිත මැතිවරණය ගැන නොව අනාගත පරපුර ගැනයි හිතන්නේ. 2017 වර්ෂයේ භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ මාගේ දැක්ම වනුයේ,…….රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් එය රටේ ජාතික ප්‍රශ්නය අවසන් කිරීමට පෙරවදනක් කර ගත යුතුයි. ඒ නිසා ජාතීන් අතර ආගම් අතර, භාෂා අතර සංවාදශීලීව, සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට, ඒ පිළිබඳ අවබෝධ කිරීමට විශේෂ වැඩසටහන් රාශියක් අපි රට වටේ අරගෙන යනවා. පසුගිය කාලය තුලදීද, මේ රටේ ජාතික ප්‍රශ්නය අවසන් කිරීම පිළිබඳව විවිධ උත්සාහයන් තිබුණා.

1956 වසරේදී බණ්ඩාරනායක මහත්තයා මෙන්ම චෙල්වනායගම් මහත්තයා උත්සාහ කළා. හැටේ දශකයේදී ඩඩ්ලි සේනානායක මහත්තයා උත්සාහ කළා. ඉන් පසුව ජේ.ආර් ජයවර්ධන මහත්තයා මෙන්ම ප්‍රේමදාස මහත්තයාත් උත්සාහ කළා. චන්ද්‍රිකා නෝනා සාකච්ඡා කළා, රනිල් වික්‍රමසිංහ මහත්තයා සාකච්ඡා කළා. අවසානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් සාකච්ඡා කළා. ඒ සාකච්ඡා සාර්ථක වගේම අසාර්ථකද වුණා. ඊට හේතු පැහැදිලි කළොත් මේ රටේ නායකයින් උඩ මට්ටමේ සාකච්ඡා කළාට, බිම් මට්ටමේ සාමාන්‍ය ජනතාවට මේ පිලිබඳ පැහැදිලිකමක් තිබුණේ නැහැ. ඒ පිළිබඳ තිබූ අපැහැදිලිකම හේතුවෙන් දෙපැත්තේම සිටි  සිංහල, දෙමළ අන්තවාදීන් මෙන්ම මුස්ලිම් අන්තවාදීන් මේ රටේ සාමාන්‍ය ජනතාව වැරදි මාවතකට අරගෙන ගියා. ඒ නිසා මෙවර ඊට ඉඩ දෙන්නේ නැහැ. බිම් මට්ටමේ සාකච්ඡා අරගෙන යන්න ඕනි. ඒකයි සංවාද කියන්නේ. ඒ නිසා රට පුරාම අපි සහජීවන සංගම් හදනවා. මේ සංගම්වල වගකීම තමයි ගැටුම්කාරී තත්ත්වයන් රට තුල ඇති වන අවස්ථාවන්වලදී ඊට මැදිහත් වී ජාති, ආගම්, භාෂා බේදයෙන් තොරව ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඉදිරියට තබාගෙන විසඳුම් ලබා දෙමින් රටේ ප්‍රධාන ප්‍රශ්න හමුවේ ඒවා රටේ නායකයින්ටම පමණක් විසඳීමට ඉඩ නොදී බිම් මට්ටමේ සාකච්ඡා කිරීම. තරුණයින්, රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, ආගමික නායකයින්, ආන්තීකරණයට පත්  වූ ජන කණ්ඩායම්, කාන්තාවන් අතර එම සාකච්ඡා වැඩමුළු අපි මේ වන විටත් සිදු කරගෙන යනවා. මේ අනුව මෙම වසරේදී එම ව්‍යාපෘතිය වේගයෙන් අප ඉදිරියටම අරගෙන යනවා.

එමෙන්ම මේ රටේ සියලුම පුරවැසියන්ට තම එදිනෙදා රාජකාරී කටයුතු සිදු කිරීමේදී තම මවු භාෂාවෙන් රාජ්‍ය නිලධාරීන් සමග රාජ්‍ය ආයතන, කාර්යාල සමග සිය රාජකාරී කටයුතු සිදු කිරීමේ අවස්ථාව සකසා දීම තමයි මගේ ඉලක්කය. මේ අනුව සිංහල පුරවැසියන්ට දකුණේ සිට උතුරු  - නැගෙනහිර වගේම මැද කඳුකරයේ රාජ්‍ය කාර්යාලවලට ගොස් දෙමළ නිලධාරීන් හරහා සිංහල භාෂාවෙන් වැඩ කර ගැනීමේ අවස්ථාව උදා කර දීමටත්, දෙමළ පුරවැසියන්ටත් දකුණේ  කෙළවරටම ගිහින් සිය මවු භාෂාවෙන් සියලුම රාජ්‍ය ආයතනවල සිංහල නිලධාරීන් සමග තම සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව උදා කරදීමත් රාජ්‍ය භාෂා විෂය භාර අමාත්‍යවරයා ලෙස මාගේ ඉලක්කයයි. මම ඒක කරනවා. ඊට අමතරව රටේ නාම පුවරු සියල්ල භාෂා තුනෙන්ම තිබිය යුතුයි. රාජ්‍ය කාර්යාලවල පමණක් නොව පුද්ගලික ආයතනවලද භාෂා තුනෙන්ම නාමපුවරු  තිබිය යුතු බවට‍යි මා පුද්ගලික අංශයෙන්ද ඉල්ලා සිටින්නේ. මේ නිසා භාෂා තුනම නිවැරදිව එම නාමපුවරුවල සඳහන් විය යුතුයි. එමෙන්ම රාජ්‍ය ආයතනවල සහ රාජ්‍ය කාර්යාලවල තිබෙන ලේඛන සියල්ලද භාෂා තුනෙන්ම තිබිය යුතුයි. ඒ වගේම සෑම රාජ්‍ය කාර්යාලයකටම මම සිංහල සහ දෙමළ භාෂා පරිවර්ථකයින් පත් කරනවා. දැනටම සමීක්ෂණ කරලා තිබෙනවා. එවැනි භාෂා පරිවර්ථකයින් 2600 කට වැඩිය අපට අවශ්‍ය වී තිබෙනවා. ඊට‍ අවශ්‍ය කැබිනට් සංදේශය මම සකස් කරලා අනුමැතිය ලබා ගෙන වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරනවා.

මේ වන විටත් අපි භාෂා පරිවර්ථකයින් පුහුණු කිරීම ආරම්භ කරලා තිබෙනවා. භාෂා ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක නොවූ නිසා අපි නැවත භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා අප විසින්ම සෑම ස්ථානයකම තිබෙන නාමපුවරු භාෂා තුනෙන්ම සකස් කිරීමේ වැඩ පිළිවෙල ඉදිරියේදී ආරම්භ කරනවා. ඒ හරහා රටේ කුමන ආයතනයක හෝ වේවා නාමපුවරුවල කිසියම් හෝ වැරැද්දක් තිබේ නම් ඒවා නිවැරදි කිරීම අප විසින් අනුගමනය කරනවා. මේ අනුව එම නාමපුවරු අප විසින්ම ගිහින් සවි කරනවා. කෙසේ වෙතත් ඒවා සවි කිරීමට පෙර ආයතන ප්‍රධානීන්ට ඒ පිලිබඳ දැනුවත් කරනවා. ඒවා වෙනස් කිරීමට අවශ්‍ය බලය ලබා ගැනීමට මම කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කරලා ඒ අවසරය ලබා ගැනීමට කටයුතු කරනවා. එම බලය ජනාධිපතිතුමා මෙන්ම අගමැතිතුමා මා හට ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

මේ අනුව භාෂා පරිවර්තකයින් සකස් කරලා රට වටේ තිබෙන සෑම පොලිස් ස්ථානයකම, ආගමන විගමන කාර්යාලයේ, හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යාලයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල, කලාප අධ්‍යාපන කාර්යාලවල, කලාප සෞඛ්‍ය කාර්යාලවල, රෝහල්වල ඇතුළු සාමාන්‍ය ජනතාව සම්බන්ධවන සෑම රාජ්‍ය කාර්යාලයකටම මේ වෙනුවෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා. එයයි මගේ 2017 වසරේ සැලසුම වන්නේ. මේ අනුව මෙම වසරේදී එය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ලබන වසර වන විට එම ඉලක්කය වෙත ලං විය හැකියි. මෙරට ජාතික ප්‍රශ්නය කියාගෙන මවාගෙන සිටින බිල්ලා එතරම් කළු නොමැති, භයංකර නොමැති බවද මා සඳහන් කල යුතුයි. මේ හරහා ශ්‍රී ලාංකිකයෝ කියන අනන්‍යතාවය තුල විවිධත්වය අපේ ශක්තියයි, ලාංකිකයෝ අපේ ජාතියයි, සාමයෙන්, සතුටින්, සහජීවනයෙන් ජීවත්වන සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම මගේ අරමුණ බව කිව යුතුය.

නවතම පුවත්

මේ රටේ විවිධ භාෂා කතා කරන ජන වර්ග දහ නවයක් ඉන්නවා. මේ විදියට විවිධ භාෂා කතා කිරීම ලස්සනයි,වර්ණවත්.ඒ විවිධත්වය තමයි අපේ ශක්තිය. - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා

අප්‍රේල් 08 2017

මේ රටේ අනාගත නායකත්වය දරුවන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා පවසනවා.රටේ අනාගතය භාර...

ගරු මනෝ ගනේසන් අමාත්‍යතුමා කොළඹදී සිදු කළ කතාව

අප්‍රේල් 08 2017

මෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීම සියලු මහජන  නියෝජිතයින්ගේ වගකීමයි. - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු...

ශ්‍රී ලාංකික අනන්‍යතාවය යටතේ ජීවත් වන හැමෝම එක්සත් කිරීම තමයි මගේ වගකීම - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා

අප්‍රේල් 09 2017

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා වශයෙන් මෙම රාජ්‍ය භාෂා විෂය පථය මෙන්ම සහජීවනය හා සංවාද යන විෂය පථයන්...